සිංහල අපට අන්තර් අධ්‍යයනයක් අවශ්‍යයි.

80 දශකය, ලෝකයේ බොහෝ 3 වන පන්තියේ රටවල් අනාගත ආර්ථික දියුණුව කරා මූලික අඩිතාලම සකස්කරගත් අවධියයි. ඉන්දියාව අනාගත තොරතුරු තාක්ෂණ පෙරළියේ ආයෝජනය කළේත්,  ශ්‍රී ලංකාවට පසුපසින් සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ප්‍රගතිගාමී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආරම්භකළේත් 80 අවධියේයි. දැන් එම රටවල් අප පසුකර බොහෝ දුර ගිහින් අවසානයි. මේ රටවල් බොහොමයක් 80 දශකයේදී සැළකිය යුතු තරුණ ජනගහනයකට උරුමකම් කීවා. තරුණයන් ගේ සවිය, හැකියාව හා ජවය රටේ දියුණුවට ‍යොදා ගත්හ. එවැනිම වටිනා තරුණ රටකට උරුම කම් කී ලංකාවේ රට පුරාම සිදුවූ‍යේ තරුණ පරම්පරාව මුලිනුපුටා දැමීමයි. රජය අතින් හෝ කැරළිකරුවන් අතින් හෝ පාතාලය විසින් හෝ විනාශ වූයේ රටේ අනාගතයයි. අද අපි අතීත නායකයින් ගේ වැරදි නිසා දශක 3 ක යුද්ධයක් හා 88-89 ජ.වි.පෙ කැරැල්ල නිසා රටේ තරුණ පරම්පරාව මාරයාගේ කටට විසි කර 60% කට අධික මහලු ජනතාවක් සිටින රටක් බවට පත්ව සිටිනවා. එවැනි අවාසනාවන්ත කාලයක් අපට ඇති වූයේ ඇයි? අපේ රටේ වෙච්ච වැරැද්ද මොකක් ද?

මූලික  වශයෙන් කිවහොත් අපි රටක් හැටියට අන්තර් අධ්‍යයනයක් (introspection) සිදුකර නැත. අපිට වැරදුනේ කොතනද? ඇයි වැරදුනේ? යයි අවංක සොයා බැලීමක් සිදු කර නැත. එක් අතකට අපට එයට අවකාශයක් ලැබුණේත් නැත. 1971 සිට අපි කර ඇත්තේ විටින් විට මතුවූ විවිධාකාර ප්‍රශ්න වලට තාවකාලික පිළියම් සොයමින් හැල්මේ දිවීමයි. 1971 දී සිදුවූ තරුණ කැරැල්ල අවසන් වූයේ තරුණ ජීවිත 10,000 ක් මේ රටට අහිමි කරමිනි. එම නැගිටීමට මුල් වූ හේතු සාධක මොනවාදැයි රටේ කතිකාවතක් ඇතිවූයේ නැත. 1970 පටන් බලවත් ආර්ථික අහේනියකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවූ අතර එහි බලපෑමි ද දැඩිව දැනෙන්නට විය. 1971 උණුසුම මැකීයනවාත් සමගම දෙමළ ප්‍රචණ්ඩත්වය ට මුහුණ දීමට සිදුවිය. රටේ සෛවරීභාවයට ප්‍රථම වතාවට තර්ජනයන් ආරම්භ විය. රටේ පෙර නායකයින් ගේ මුග්ධ හා ජාතිවාදී ක්‍රියාකලාපයන් නිසා ඇරඹි දෙමළ සටන්කාමී කණ්ඩායම් අවසානයේ උනුන් මරාගෙන ලෝකයේ බිහිවූ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම බවට පත්විය. එවැනි තත්වයක්  1970 දශකයේ අග භාගයේ සිට 1983 දක්වා රටේ උතුරු හා නැගෙනහිර පළාත් වල ඇතිවූ‍යේ තැනින් තැන ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසයි.

සිංහල ජාතිවාදයේ උච්චතම අවස්ථාව වූ 1983 දෙමළ සංහාරය ලාංකීයය දේශපාලන වපසරිය මුලු මනින්ම වෙනස් කෙරිණි. දෙමළ ප්‍රචණ්ඩත්වයට ඔක්සිජන් සැපයීමක් වූ එය, දහස් ගණනින් දෙමළ සරණාගතයින් ලංකාව හැරදමා යා‍මේ ආරම්භය සනිටුවන් කළහ. 30 වසරක් මුලුල්ලේ රටේ යුද්ධයකට මංපෙත් විවර කළ අතරම, සිංහල දෙමළ සම්බන්ධය විශාල දෙදරීමකට බදුන් විය. 2009 දී යුද්ධය අවසාන වූයේ රටේ ජීවිත 200,000ක් පමණ රටට අහිමි කරමිණි. ජාතියක් ලෙස සිංහල අපි අපේ වැරදි දෙස බලා සිහිබුද්ධියෙන් යුතුව ස්වයං විවේචනයක් සිදුකළ යුතු නොවේද?

මේ සියලු කරදර මධ්‍ය‍යේ 1988-89 යුගය දකුණේ භීතියත්, පරිහානියත් ඇතිකළ අදුරු යුගයක් විය. ජීවිත 60,000ක් පමණ බිලිගෙන එම පරිච්ඡේදය නිම විය. නමුත් මේ සියල්ල ඇතිවූයේ ඇයිද යන්න ගැන අපි කතා කළ යුතුව ඇත. 71, 88-89, 30 වසරක යුද්ධය, 83 දෙමළ සංහාරය ඇති වූයේ ඇයිද ආර්ථිකය, රටේ නීතිය හා සමාජ සාධාරණත්වය පරිහානියට පත් වූයේ ඇයිද යන්න ගැන අපි කතා කළ යුතුව ඇත. ජාතියක් හැටියට රටක් හැටියට අන්තර් අධ්‍යයනයක යෙදිය යුතුය.

සිදුවූ වැරදි නිවැරදි කරගෙන රට හරි මගට ගෙන ඒමත් එම වැරදි නැවත සිදුවීම වළක්වා ගැනීමටත්  එය අත්‍යවශයය වේ.

Advertisements
Posted in Uncategorized | Leave a comment

බොදු බල සේනාව වෙතයි,

බොදු බල සේනාව වෙතයි,

Image | Posted on by | 2 Comments

අපේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ කොහොමද?

අපේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ කොහොමද?

Image | Posted on by | Leave a comment

රජ ගෙදර බල්ලා

ලංකාවේ අපකීර්තිමත් දේශපාලකයින් බොහෝ දෙනෙකු බිහි වී ඇත. ඔවුන් ගෙන් සමහරෙක් ජීවතුන් අතර නැත.  සමහරෙක් වංචනිකව සොයාගත් ධනයෙන් යෙහෙන් වැජඹෙති. තවත් සමහරු වංචාවත් දූෂණයත් ප්‍රචණ්ඩත්ව‍යෙත් යෙදෙමින් ලංකාව අරාජික කරමින් සිටී.

 එවන් දේශපාලකයින් ගෙන් සාපලත් මේ දිවයිනේ ජනතාව ට දත් විළිස්සා ගොරවමින් සපා කන්නට තර්ජනය කරන දේශපාලකයෙක් සිටී. මර්වින් සිල්වා යන නාමය කොතනක හෝ ගෑවුණොත් එතන බලු වැඩක් ඇත. ඔහු තම බලු වැඩ ගැන පුරසාරම් දොඩයි. නැවත සිදුකරන බවට තර්ජනය කරයි. ඔහුට හානියක් නොවන බව ඔහු දනියි, මොකද ඔහු නිකම් බල්ලෙකු නොව රජ ගෙදර බල්ලායි.

මාධ්‍ය වේදීන්ට පහරදෙමින් රූපවාහිනී මැදිරි තුළ අසභ්‍ය වචනයෙන් අන්‍යන්ට පරිභව කරමින් තම නොහික්මුණුකම මොනවට පෙන්වන මොහු ඒ ගැන ආඩම්බර ද වෙයි. කාන්තාවකටවත් හරිහැටි කතාකරන්නට වත් නොදන්නා මේ අවලං මිනිසා තම අශීලාචාරකම, එඩිතරකමක් ලෙස සිතයි. නමුත් අවශ්‍ය වූවිට රට කරන ඇත්තන්ගේ දෙපා මුල කීකරු බල්ලෙකු ලෙස වැද වැටෙන්නට පසුබට වන්නේත් නැත.

තමා‍ගේ ධූරය විසින් තමන්ට ලබා දී ඇති බලය ද ඉක්මවා රජයේ සේවකයෙකු ගස් බැදීමට කටයුතු කළ මේ පුද්ගලයා ට ලබා දුන් දඩුවමක් නම් නැත. රූපවාහිනී නාලිකා වලද ප්‍රදර්ශනය වූ එම සිද්ධිය පසුව පීඩිත පුද්ගලයා විසින් ම ප්‍රතික්‍ෂේප කළ බැවින් මොහු එසේ මෙසේ බල්ලකු නොවන බව වඩාත් පැහැදිලිය.

ව්‍යාපාරිකයින් ගෙන් කප්පම් එකතු කරමින්, තම ආසන‍යේ විරුද්ධ පක්ෂ දේශපාලකයින්ට හිරිහැර කරමින් කැළණිය ප්‍රදේශය තම පුද්ගලික දේපළක් ලෙස කටයුතු කරන අතර ඔහුගේ එම ක්‍රියා පටිපාටිය නිසි ලෙස ප්‍රශ්න කර නැත. කැළණිය ප්‍රාදේශීය සභාවේ සිදුවූ වංචා පිළිබදව එහි නිදහස් සන්ධාන මන්ත්‍රීන්ම ප්‍රශ්න කළ විට ඔවුන්ට හිරිහැර කර කට වැසීමට ප්‍රයත්න කළ ‍මොහුට විරුද්ධව කිසිම පොලිස් පරීක්ෂණයක් සිදුවී නැත. නමුත් මේ පුද්ගලයා විසින් ඇති කළ පිළිකුල් සහගත තත්වය මැඩ පැවැත්වීමට ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් (තත්වය සමනය වූ පසු නිදහස් කළ) මවා පා නීති විරොධී ක්‍රියා යට ගැසිණ.

ප්‍රසිද්ධියේ අමු අමුවේම රටේ නීතිය දූෂණය කරමින් නීති විරෝධී වැඩ වල ප්‍රසිද්ධියේ නියැළෙන මොහු අසභ්‍ය අනර්ථකාරී ප්‍රකාශ කරමින් කිසිදු කරදරයක් නැතිව වැජ‍ඹෙයි.

ප්‍රසිද්ධි යේ කුඩුලාල් සමග ගැවසෙන මර්වින් සිල්වා යන අවමානය ට පත් පුද්ගලයා මත්කුඩු ව්‍යාපාරයේ ප්‍රධාන පුරුකක් බවට මතයන් ඇතත් ඒ පිළිබද ව පුලුල් පරීක්ෂණයක් කිසිවිට කෙරී නැත.

නින්දිත ක්‍රියා රැසකට චෝදනා ලත් ඔහුගේ පුත්‍රයා රාත්‍රී සමාජ ශාලාවල සිටින පිරිස් වලට විශේෂයෙන් කාන්තාවන්ට හිරිහැර කරමින්, පුද්ගලයින්ට පහර දෙමින් හැසිරී ඇතත් නීතියෙන් බේරී සිටින්නට හැකිව ඇත. කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවල එක්ස්ටසි නම් මත්ද්‍රව්‍යය බෙදාහැරීම මොහු විසින් සිදුකරන බව ප්‍රසිද්ධ මතයකි. නැවතත් ඒ පිළිබද ව මනා ලෙස පරීක්ෂණයක් කර නැත.

පසුගිය දිනක රාජකාරී වැඩකට කොළඹ හිල්ටන් හෝටලයට ගිය හමුදා මේජර් වරයෙකුට පහර දී තුවක්කුව ද පැහැර ගත් මෙම පුද්ගලයා නැවතත් නීතියේ දැලෙන් බේරී පැන ගත් අතර පහර කෑමට ලක්වූ මේජර් වරයා විසින්ම පැමිණිළ්ල ඉවත් කරගෙන තිබුණි. කැකිල්ලේ රජු ගේ තීන්දුව මතකයට නංවමින් ප්‍රහාරයට ලත් පුද්ගලයා පසුව දඩුවමට ලක් වූ අතර වැරදිකරු නිදහස් විය.

මෙම අවමන් සහගත දේශපාලකයා කිසිදු කරදරයක් නැතිව වැජඹීම, නිදහස් හා සාධාරණ නීතිගරුක සමාජයක් ඇතිකරනවා යයි නිරතුරුව පවසන ජනපතිතුමාගෙන් ප්‍රශ්න කර සිටිමු. මෙම අමාත්‍යවරයෙකු ද වන පුද්ගලයා කොළඹ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ඡන්ද 3000 ක් වත් ගැනීමට අපොහොසත් වූ අයෙකි. නමුත් මෙම පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් රටේ ව්‍යවස්ථාදායකය අමු අමුවේ දූෂණය කරන ලදී.

එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් මොහු ජනතාව ඉදිරියට විහිලු කාරයෙකු ලෙස නොහොබිනා විහිලු සපයමින් ජනතාව ඉදිරියට ගෙන ගොස් මොහුව market කර කැළණි ආසනයෙන්  100,000 ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුනි.

කෙතරම් අන්‍යයන් ට හිරිහැර කළත් නීතිය අමු අමුවේ උල්ලංඝනය කළත් මෙම විළි ලැජ්ජා නැති පුද්ගලයා අන්තිම බය ගුල්ලෙකි, නිවටයෙකි. රූපවාහිනී සංස්ථා මැදිරියේදී  එහි ප්‍රවෘත්ති සංස්කාරකට පහර දීමට ගොස් සේවකයින්ගෙන් ගුටි බැට සංග්‍රහයකට පාත්‍ර වූ මොහු එයින් පිටව ආවේ පොලිස් ආරක්ෂාව මැද නගුට ගසා ගත් බල්ලකු ලෙසය.

ප.ස – සුනඛ කුලයට අයත් සියලු සත්වයින්ගෙන් සිදුවූ අපහාසය පිළිබද සමාව ඉල්ලමි.

Posted in Uncategorized | Leave a comment

ඉන්දියාව ලංකාවට එරෙහි වුණා ද?

ඉන්දියාව ලංකාවට එරෙහි වුණා ද?

එක්සත් ජාතීන් ගේ සංගමයේ පැවැති ඡන්දය විමසීමේ දී ඉන්දියාව ලංකාවට එරෙහිව ‍ද්‍රෝහීකමක් කළ බවත්, විපතේදී අහක බැලූ මිතුරෙක් වෙසින් සිටින හතුරෙක් බවත් අද ලංකාවේ ජනප්‍රිය මතයක් ව ඇත.

ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දීම අපට කළ පිටුපෑමක් ද?

ඔව්. නමුත් එම තත්වයට ඉන්දියානු රජය තල්ලු කළ ලංකා රජය ඊට 100% ක්ම වගකිව යුතුය.

ඉන්දියාවේ වෙසෙන මිලියන 70 ට අධික තමිල්නාඩු ප්‍රාන්ත ජනතාව ඉන්දියානු ජනරජයේ කොටසකි. ඉන්දියානු රජ‍යේ ප්‍රතිපත්ති සැකසීම් කටයුතු වලදී තමිල්නාඩු මන්ත්‍රීන් ද සහභාගි වේ. ඔවුන් ලාංකික දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබද ව සංවේදීතාවයක් දක්වන බව රහසක් නොවේ. එබැවින් ත.නා මන්ත්‍රීන්ගේ ඉල්ලීම් අහක දමමින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මුනිවත රැකීම ඉන්දියාවට කළ නොහැක. එලෙස යමින් ත.නා මන්ත්‍රීන්ගේ ඉල්ලීම් පරිදි ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ලංකාවේ ස්වෛරීභාවයට කළ ඇගිලි ගැසීමක් නොව තම රට වැසියන්ගේ ඉල්ලීමට කන් දීමකි. ඊට විරුද්ධව පෙළපාලි යාම හෝ එය වෙනස්කරන ලෙස බල කිරීම ලංකාවට අයිති කටයුත්තක් නොවේ.

යුද්ධය පටන්ගත් කාලයේ එසේත් නැත්නම් ජනවාර්ගික අර්බුධය යුද්ධමය තත්වයට පරිවර්තනය වූ කාලයේ ඉන්දියාව LTTE ට ආධාර කරමින් කටයුතු කළ බව සැබෑය. නමුත් ඒ පිළීබද මතකයන් සිතේ දරාගෙන අපේ විදේශ ප්‍රතිපත්ති සකස්කිරීම හෝ ඉන්දියානු විරෝධී මානසිකත්වයක් ජනතාව තුළ ඇති කිරීම අනුවණ ක්‍රියාවකි. එය අපටම අවාසිදායක තත්වයක් ඇතිකරයි.

සත්‍යවශයෙන් ම කිවහොත් යුද්ධය අවසාන භාගයේදී ඉන්දියාව ලංකාව ට විශාල වශයෙන් සහාය විණි. කොටි ආයුධ නැව් අල්ලා මගදීම විනාශ කිරීම යුධ ජයග්‍රහණයට සෑහෙන රුකුලක් විය. ඒ සදහා ඉන්දියානු රජය අපට සෑහෙන සහායක් වුණි. 2009 දී පැවැති එක්සත් ජාතීන් ගේ සංගමයේ පැවැති ඡන්දය විමසීමේ දී ඉන්දියාව ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ලංකාවට  එල්ලවිය හැකි බලපෑම් මැඩපැවැත් වීමට ද උදව් කළ රටකි ඉන්දියාව.

පශ්චාත් යුධ සමයේ ලංකාවේ ආයෝජන වලට මුදල් යෙදවීමට ඉන්දියානු ව්‍යාපාර ඉදිරිපත් විය. ඉන්දියානු රජය උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම වැනි නොයෙක් පුනරුත්ථාපන කටයුතු වලට සහාය දෙන අතරම දකුණේද සංවර්ධන වැඩ රාශියකට සහාය වේ.

සීඝ්‍රෙයන් දියුණු වන රටක් වන ඉන්දියාවේ දිනෙන්දින විශාල වන මධ්‍යම පන්තියක් නිර්මාණය වී ඇත. ලංකාවට ගිය වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණියේ ඉන්දියාවෙනි. ලංකාවේ ව්‍යාපාර වලටද නිවැරදි දැක්මක් හා කළමනාකාරිත්වයකින් යුතුව ඉන්දියානු වෙළද පළට ඇතුල්විය හැකි නම් ලංකා ආර්ථිකයට ලැබිය හැකි ප්‍රයෝජනයන් හා වාසි බොහෝය.

ඒ සියල්ලටම වඩා ඉන්දියාව කලාපයේ බලවතා වෙයි. ලංකාව සමීපයේ වෙනත් එතරම් බලසම්පන්න රාජ්‍යක් නොමැත. එමෙන්ම ලෝක බලවතා වන ඇමරිකාව ද ඉන්දියාව සමග සමීපව කටයුතු කරයි. එනිසා ලංකාව ඉන්දියාවට එරෙහිව යාම අපටම වල කපා ගැනීමකි.

ඉරානය,චීනය වැනි රටවල් ලංකාවට උදව් කරන්නේ යටි අරමුණු හිතේ ඇතිවය. ඇත්ත වශයෙන්ම කිවහොත් සියලු රටවල් එසේය. එනිසා එම රටවල් පිළිබද 100% ක විශ්වාසය තබා ගැනීම අප අපවම මුළාවේ දමාගැනීමකි. ඉන්දියාව සමීපයේ සිට ඉන්දියාවේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීම අපට අනෙක් ලෝක බලවතුන් ගෙන් එන අහිතකර බලපෑම් වලින් මිදීමට හැකියාව ලැබෙයි. හරියට පාවිච්චි කළොත් ඉන්දියාව යනු අපට ඉතා වටිනා වත්කමකි.

මෙතරම් උපකාර කළ ඉන්දියාව අපට එරෙහි වූයේ ඇයි?

මුලින් ම කිව්වා වගේම ත.නා මන්ත්‍රීන් ගේ ඉල්ලීම ඉන්දියානු රජයට අහක දාන්නට බැරිය. නමුත් සමහර අවස්ථා වල (2009 දී) තමිල්නාඩු මතයට විරුද්ධව යමින් ඉන්දියාව අපට උදව් කළා.

එහෙනම් ඇයි?

2009 දී යුද්ධය අවසානයේදී ලංකා රජය ලෝකයටම (විශේෂයෙන් ම ඉන්දියාවට) ලොකු පොරොන්දුවක් දුන්නා. උතුරු නැගෙනහිර යථා තත්වයට පත්කර දෙමළ ජනතාවට දේශපාලන බලය බෙදාහැරීමක් සිදුකරන බවයි, ඒ. 13+ නැත්නම් 13 වන සංශෝධනයට එහා ගිය විසදුමක් ලබාදෙන බව මහින්ද රාජපක්ෂ පුන පුනා කිව්වා. නමුත් ඒ පොරොන්දුව හරිහැටි ඉටුකරන්න ලංකා රජය සමත් නොවීම තුළ ත.නා රජය ට හිස නමන්න ඉන්දියාවට සිදුවෙනවා.

 

 

Posted in Uncategorized | Leave a comment

Hello world!

Welcome to WordPress.com! This is your very first post. Click the Edit link to modify or delete it, or start a new post. If you like, use this post to tell readers why you started this blog and what you plan to do with it.

Happy blogging!

Posted in Uncategorized | 1 Comment